ශ්‍රිපාද වනබිමේ කළු කොටි රජුට ජීවිතය අහිමි වූයේ කාගේ වරදින් ද?


සතුන්ට ආදරය කරන බොහෝ දෙනෙකුගේ නෙතගට කඳුලක් එක් කරමින් නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ, වාලමලෙයි කෝවිල අසල එළවළු කොටුවක මද්දකට (මළපුඩුවකට) අසු වූ දුර්ලභ කළු කොටියා මියගියේ 2020 මැයි 29 වැනිදාය.

ඒ, මද්දට අසු වී දින තුනකට පසුවය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දිවා රෑ නොබලා කළ ප්‍රතිකාර ගඟට කැපූ ඉනි මෙන් විය. දැන් බොහෝ දෙනෙකු වෙහෙසෙන්නේ  නල්ලතන්නියේ මළපුඩුවකට අසුව සොයාගත් කළු කොටියා  වෛද්‍ය  ප්‍රතිකාර ලබමින් මියගියේ කාගේ වරදින්දැයි විමසා බැලීම  සඳහාය. 

ශ්‍රි ලංකාවේ කළු කොටි 

ලොව වෙසෙන කොටි සියල්ල Panthera pardus විශේෂයට ඇතුලත්වන අතර, එහි උප විශේෂ 8ක් දැනට විද්‍යාත්මකව හඳුනාගෙන ඇත.  ඒ අතුරින්, ලංකාවේ වෙසෙන උප විශේෂය (Panthera pardus kotiya) මෙරටට ආවේණිකය. වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා කොටියාගේ ගහනය, 2015 වසරේ සංඛ්‍යාලේඛණවලට අනුව 700-950ක් පමණ වේ. දිවයින පුරා පැතිරුණු වනාන්තර ආශ්‍රිතව ශ්‍රී ලංකා කොටියාගේ විසිරි ව්‍යාප්තියක් දක්නට හැක. 

කළු කොටියා ලෙස හැදින්වෙන්නේ මෙම උප විශේෂයේ වර්ණ ප්‍රභේදයකි. Melanism ලෙස හැඳින්වෙන මෙම සත්ත්ව විද්‍යාත්මක ආකාරයේදී, උන්ගේ දේහයේ ඇති ඇඳුරු නැතහොත් කළු වර්ණක ඉස්මතුවී පෙනේ. කොටියාගේ සමේ මෙසේ කළු වර්ණය නිර්මාණය වන්නේ නිලීන ජානයකිනි. කෙසේ වෙතත්, කොටි සමේ ඇති සුපුරුදු පුල්ලි රටාව මේ කළු වර්ණය අතරින් හඳුනාගත හැක.  

කඳුකර කලාපයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන කළු කොටියන් දුර්ලභය.  අඳුරු පරිසරයට සහ ශීත කාලගුණයට ඔරොත්තුදීම සඳහා මෙසේ වර්ණ විපර්යාස සිදුවන බවට මතයක් ඇත. අඳුරු පරිසරයේ සාර්ථකව දඩයම් කිරීමටත්, සතුරන්ගෙන් ආරක්ෂාවීමටත් කළු වර්ණය උපකාර වේ.

කළු කොටි කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පසුගිය දශක දෙකක කාලය තුළ විවිධ වාර්තා ඉදිරිපත්වී තිබේ. එම වාර්තාවන්ට අනුව, මෙයට පෙර කළු කොටි තිදෙනෙකු  දඩයක්කරුවන්ගේ ඉලක්කයට හසුවූ පසුව සොයා ගැණිනි. ඔවුන් සියලු දෙනා  සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ජීවත්වූවන්ය.  

මෙරට අවසන් කළු කොටියා ලෙස දශකයකට ආසන්න කාලයක් හඳුනාගෙන තිබුණේ පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව උගුලකට හසුව මිය ගිය කළු කොටියාය. ගිරිතලේ වනජීවි  කෞතුකාගාරයේ එම සත්ත්වයාගේ ජීවමාන අනුරුවක් නිර්මාණය වුයේ, දුර්ලභ කළු කොටින්ගේ අවාසනාවන්ත අවසානය කියා පෑමට මෙනි. 

ජීවමාන කළු කොටි ගැන මෑත වාර්තාව 

දඩයම්කරුවන්ගේ මළපුඩුවලට අසුව මියගොස් සිටියදී හමු වූවද, කිසිදා කළු කොටියෙකුගේ  ජීවමානව සාක්ෂි හමුවී නොතිබිණි. මේ නිසා කළු කොටි ගැන විශේෂ අවධානයක් නොතිබිණි. මෙසේ තිබියදී, ලද තොරතුරකට අනුව 2019 ඔක්තොම්බර් 26 වැනිදා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දුරස්ථ චලන සංවේදී කැමරාවකට කළු කොටියකු පටිගත කරගැනීමට හැකිවිය.

ඒ මධ්‍යම කඳුකරයේ, ශ්‍රිපාද රක්ෂිතයේ නල්ලතන්නියට ආසන්නයෙනි.  නමුත් මෙම තොරතුරු මාධ්‍යට නිකුත් කෙරුනේ පසුගිය ජනවාරි මාසයේය. අදාල කළු කොටියා සමග ජීවත්වන කොටි පවුලක් පිළිබඳව තොරතුරු එම වකවානුවේ හෙළි විය. 

වනජීවි පශුවෛද්‍ය මාලක අබේවර්ධන මෙම හෙළිදරව්ව කරමින් එකල  ප්‍රකාශ කළේ මෙසේ වාර්තාවූ කළු කොටියා අවුරුදු 5ක පමණ, හොඳින්  වැඩුණු පිරිමි සතෙකු බවයි. අදාල පටිගත කිරීමට මුලිකත්වය ගෙන තිබුණේද ඔහුය. මෙම කළු කොටියා සමග තවත් ගැහැණු සතෙක්, පැටව් දෙදෙනෙකු සහ සාමාන්‍ය වර්ණ දරණ පිරිමි සතෙකු සිටින බව අනාවරණය විය.

මද්දකට හසුවු  නල්ලතන්නියෙ කළු කොටියා

2020 මැයි 26 වැනිදා ලක්ෂපාන වතුයායේ, වාලමලෙයි කෝවිල අසල එළවළු කොටුවක මද්දකට  කළු කොටියකු හසුවිය.  ඌරන්ගෙන් එළවළු කොටුව ආරක්ෂා කිරීමටත්, දඩයමටත් දෙකටම මෙම එළවළු කොටුවේ ත්‍රීරෝද කේබලයකින් මළපුඩුවක්  අටවා තිබී ඇත. මෙම මද්දට හසුව තිබුණේ නල්ලතන්නියේ දුර්ලභ කළු කොටියාය. 

හිමිදිරි උදෑසන මද්දෙන් බේරීමට කළු කොටියෙකු දඟලනු දුටු එළවළු කොටුවේ හිමිකරු නල්ලතන්නිය පොලිස් ස්ථානය දැනුවත් කළේය. පොලීසිය වහාම නල්ලතන්නිය වනජීවි කාර්යාලය දැනුවත් කළේය. ඒ අනුව, අඩවි ආරක්ෂක නිලධාරි ප්‍රභාෂ් කරුණාතිලක ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණියේය. වනජීවි පශුවෛද්‍යවරුන්වන මාලක අබේවර්ධන සහ අකලංක පිණිදිය එම ස්ථානයට ළඟාවූයේ උඩවලව ඇත් අතුරු සෙවණේ සිටය. ඒ වනවිට පැය කිහිපයක් ගතවී තිබු අතර වතුකරයේ ජනතාව තුන්දහසක් පමණ කළු කොටියා බැලීමට පැමිණීම නිසා, මද්දෙන් බේරී පලායාමට තැත්කිරීමේදී කළු කොටිය මහත් වෙහෙසට පත්ව තිබිණ.

නිර්වින්දනය කළ කළු කොටියාට ප්‍රතිකාර කිරීම

පශුවෛද්‍ය මාලක අබේවර්ධන කළු කොටියා නිර්වින්දනය කළ අතර අනෙකුත් වනජීවි නිලධාරින් හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මුදා ගැනීම සහ ප්‍රතිකාර කිරීම ඇරඹිණි. එම ස්ථානයේදී ලබා දුන් මූලික ප්‍රතිකාරවලින් පසුව, කළ කළු කොටියා උඩවලව ඇත් අතුරු සෙවණට ගෙනයාමට තීරණය කෙරිණ. ඒ ප්‍රතිකාර ලබාදීමෙන් පසු කොටියා නැවත වනයට මුදාහැරීමේ බලාපොරොත්තු ඇතිවය.

නිර්වින්දනය කිරීමෙන් පසුව කළු කොටියා මද්දෙන් මුදා ගැනීමේදී නැට්ටෙන් අල්ලා ඇදීම වැනි ක්‍රියා නිසා මෙම මුදාගැනීමේ ක්‍රියාවලිය නිසි ආකාරයකට සිදු නොවු බවටත්, නල්ලතන්නියට වඩා පාරිසරිකව වෙනස්, දුරකින් පිහිටි උඩවලවට කළු කොටියා ප්‍රතිකාර සදහා ගෙනයාම ස්ථානෝචිත නොවන බවත් පරිසරවේදීහු පෙන්වා දුන්හ.

ඒ කෙසේ වෙතත්, එදින රාත්‍රියේ රටටම අසන්නට ලැබුණු සතුටුදායක පුවත  වුයේ කළු කොටියා ප්‍රකෘතියෙන් පසුවන බවයි. ඒ අනුව කළු කොටියා සුවවීමේ ප්‍රීතිය සත්ත්වලෝලීන් අතර වේගයෙන් පැතිර ගියේය. 

කළු කොටියා බේරා ගැනීම නිශ්ඵල වු ඇත් අතුරු සෙවණේ මෙහෙයුම 

සමාජ මාධ්‍ය සටහනකට අනුව, කළු කොටියා වතුර බීමට පටන් ගැනීම පවා පශුවෛද්‍ය මාලක අබේවර්ධන ඇතුළු වෛද්‍ය කණ්ඩායමේ ප්‍රීතිය ඉහවහා යාමට කරුණක් වී තිබිණි. 

‘අන්න වතුර බොන්න පටන් ගත්තා!’, මාලකට එකවරම කෑ ගැසුණේය. සිරිපා වනබිම රජ කළ ඒ දැවැන්තයා ඉතා අපහසුවෙන් වතුර බොමින් සිටියේය. ‘ඔය ගෙනාවට පස්සෙ වතුර බොන දෙවෙනි පාර.’ පශුවෛද්‍ය මාලක නැවතත් නිහඬතාව බිදිමින් එතැනි සිටි අයෙකුට කීවේය.

මුදාගත් පසු දෙවැනි දින ලබා ලබාදුන් මස් කිලෝවකට ආසන්න ප්‍රමාණයක් කොටියා ආහාරයට ගත් බව පශුවෛද්‍ය මාලක අබේවර්ධන පවසයි.  කොටියා දිනෙන් දින සුව වෙනු ඇතැයි ඔවුහු විශ්වාස කළෝය. නමුත් තෙවැනි දිනය වෙන විට කළු කොටියා පැත්ත වැටී සිටියේය.

කෙසේ වුවද පේරාදේණිය පශුවෛද්‍ය පීඨයේ මහාචාර්ය නෙරංජලා ද සිල්වා සමග පශුවෛද්‍යවරුන්වන අකලංක පිණිදිය, ශෂිකලා ගමගේ, කලනි සමරකෝන්, තාරක ප්‍රසාද් ඇතුළු කණ්ඩායම මෙම උත්සාහය අත්නොහැර කළු කොටියා බේරා ගැනීමට උත්සාහ දැරූහ.

මද්දට අසුවීමෙන් සහ ඉන් අනතුරුව කටේ සහ සමේ ඇතිවු තුවාලයන්ට අමතරව කළු කොටියාගේ මීට පෙර සිදුවු තුවාල දෙකකුත් තිබුණා යැයි පශුවෛද්‍ය මාලක අබේවර්ධන පැවැසීය. 

කළු කොටියා මද්ද සමග කණ්ඩියෙන් පහළට වැටීමේදී බෙල්ල තැලීම, මොළයට හා ස්වාසනාලයට හානි වී තිබු බව පශු වෛද්‍ය මාලක අබේවර්ධන පවසයි.

කළු කොටියාගේ අවසන් මොහොත 

2020 මැයි 29 වැනිදා උදෑසන 10.30ට පමණ අවසන් හුස්ම වාතලයට මුසු කළ කළු කොටියා, තවත් බොහෝ  සතුන්ට අත්ව ඇති ඉරණම ලෝකය හමුවේ තබමින් නික්ම ගියේය. මාධ්‍ය වාර්තා අනුව, මෙසේ නික්ම ගියේ කැමරාවක සටහන්වී සිය වර්ගය පිළිබඳව බලාපොරොත්තුවක් ලෝකය හමුවේ තැබු ශ්‍රිපාද වනබිම සැරිසැරූ කළු කොටියාය.

පරිසරවේදීන්ගේ අදහස් හා යෝජනා

කොටියා ආරක්ෂිත සත්ත්වයෙක්. වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥාපනතේ 30 වැනි වගන්තියේ දෙවැනි උප වගන්තිය අනුව එවන් සතෙකු අල්ලා ගැනීම, තුවාල කිරීම, මරණයට පත්කිරීම වරදක්. ඒ නිසා ඉදිරියේදී අවශ්‍ය නීතිමය මැදිහත්වීම් සිදුකිරීමට අප සුදානම් යැයි  නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

එමෙන්ම විශේෂ වනජීවී බුද්ධි ඒකකයක් ස්ථාපිත කොට වරදකරුවන් අත්අඩංගුවට ගැනීම සහ නූතන තාක්ෂණික ප්‍රවේශයක් ගැනීම පිළිබදව පරිසරවේදීහු මේ වනවිටත් අදහස් දක්වා තිබේ. කඳුකරයේ වාර්තාවන කොටින්ට සබැදි අනතුරු ඉහළයන නිසා, ඒ ප්‍රදේශයේ ක්ෂණික මුදාගැනීම් මෙහෙයුම් සිදුකළ හැකි වනජීවී සංරක්ෂණ කණ්ඩායමක් ස්ථාපිත කළ යුතුව ඇතැයි ස්ලයිකැන් භාරයේ උපදේශිකා පශුවෛද්‍ය දීපානි ජයන්තා මෙනවිය පැවසුවාය.

කළු කොටියා මියයෑම ඇතුළු වනජීවින් සම්බන්ධයෙන් උද්ගතව තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් නීතිඥ වොසිතා විජේනායක මහත්මියගෙන් කළ විමසීමේදී ඇය මෙසේ පැවසුවාය.

‘දඩයම් කිරීමේ සිද්ධීන්වල සිට කළු කොටියාගේ මරණය දක්වා ශ්‍රී ලංකාවේ වන ජීවීන්ට ඇති තර්ජන බොහෝමයකි. ඒ නිසා වනජීවීන් ආරක්ෂා කිරීමට අදාළ නීති බලාත්මක කිරීමේ අවශ්‍යතාව මෙවැනි සිදුවීම් ඔස්සේ නැවත නැවත  අවධාරණය වන්නක්. දඩයම්කරුවකුගේ මද්දකට බිලිවු මෙම කළු කොටියාත්, මෑත කාලයේ දඩයම්කරුවකුගේ වෙඩි තැබීමකට ලක්ව මියගිය වනජීවි නිලධාරියාත් දෙස බැලුවිට පෙනීයන්නේ මෙම තත්ත්වය තුළ අවශ්‍ය අවස්ථාවල දී අදාළ බලධාරීන්ට ගැටළු විසඳීම සඳහා ඕනෑකරන විවිධ සහය ලබාදීම අප විසින් සහතික කළ යුතු බවයි. මීට අමතරව මහජනයා අතර දැනුවත්භාවය ඇති කිරීම වැදගත් වන අතර එමඟින් අපගේ වනජීවීන් මෙවැනි කුරිරු මරණ වලින් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා’ යැයි ඇය විශ්වාසය පළ කළාය.

අධිකරණ ක්‍රියාමාර්ගය

එළවළු කොරටුවේ මද්ද තැබු බවට පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් කොරටු හිමියාට මේ වනවිට ඇප ලැබී තිබේ. මේ අතර මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පශුවෛද්‍ය පීඨයේදී සිදු කිරීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ සඳහා මිය ගිය කළු කොටියාගේ දේහය මැයි 29 වැනිදා පස්වරුවේ උඩවලවේ සිට පේරාදෙණියට රැගෙන ගිය බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිලධාරිනී හෂිනි සරත්චන්ද්‍ර මෙනවිය පැවසුවාය.

වන සතෙකු මියගිය විට පශ්චාත් මරණ පරීක්ෂණය සාමාන්‍යයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍යවරු විසින් සිදු කළද, බොහෝ දෙනාගේ අවධානයක් යොමුව ඇති කළු කොටියාගේ මරණ පරීක්ෂණය මෙසේ පේරාදෙණිය පශුවෛද්‍ය පීඨයේදී පැවැත්වීමට  අවසර දෙන මෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මිනිසුන්ට මෙන්ම සත්ත්වයන්ටද ජීවත්වීමේ අයිතිය පොදුය. දුර්ලභ කළු කොටියා පමණක් නොව සුලබ සත්ත්වයකුවුවද රැක ගැනීම මිනිසත්කම විය යුතුය. අප සොයා යා යුත්තේ එයයි. ඒසේ නොවන්නට, අහිමිවන කළු කොටි ගණන් කරමින් සිටිනවා හැර වෙනයමක් ඉතිරිවන්නේ නැත.

රමේෂ් වරල්ලෙගම