දිවියන් මරා දමමින් අප පිය නගන්නේ කොයිබටද ?


සත්ත්ව වද හිංසා පිළිබදව දිනෙන් දින මතුවන සිද්ධි බොහොමයකි. එක් පැත්තකින් සුරතල් සතුන්ටත් තවත් පැත්තකින් වනජීවින්ටත් එල්ලවන කෲරත්වය හා මරණයන් පිළිබද සමාජ කතිකාවතක් ගොඩනැගීම කාලීන අවශ්‍යතාවයකි.

එක් එක් සිද්ධි අරඹයා කලින් කලට මතුවන අවධානය දිනාගැනීමේ කාර්ය දැන් දෛනික කාර්යක්වන තරමට සිද්ධි වර්තාවීම යම් අභාග්‍යයකි. මෙම තත්ත්වය මගහැරීම සදහා කොතෙකුත් තර්ක විතර්ක ඉදිරිපත්වුවද මෙම සෑම කටයුත්තකම පසුබිම ප්‍රායෝගික තලයෙන් එපිටට පැන තිබීම තවත් ඛේදාන්තයකි.

පසුගිය 31 වැනිදා උඩවලව වනෝද්‍යාන මායිමේදී මරා දමා තිබු දිවියා පිළිබද කතාවත් එවැන්නකි. උඩවලවට තවත් එය විශේෂිත වන්නේ උඩවලව දිවියන් බහුල වනෝද්‍යානයක් නොවීමයි. සමාන්‍යයෙන් උඩවලව වනෝද්‍යානය තුළ ජීවත්වන දිවියන්ගේ සංඛ්‍යාව 15කට වැඩි නොවන බව වනජීවි නිලධාරින්ගේ පිළිගැනීමයි.

අදාල දත්තයන් නිවැරිදි නම් මේ මරා දමා තිබෙන්නේ උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටින දිවියන් 15 දෙනාගෙන් කෙනෙකි. රටක වන සම්පත මෙන්ම වනජීවි සම්පත ද ඒ ඒ රටේ අනන්‍යතාව විදහාපන අත්‍යවශ්‍ය සාධකයන්ය. කිසියම් නුවණ මද වුවකුගේ හිස් ක්‍රියාවකින් ජාතික අපරාද සිදුවන්නේ නම් ඊට නිසි දඩුවම් ලබාදීම අත්‍යවශය කරුණකි. 

උඩවලවේ මරා දැමු දිවියා සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ කණ්ඩායම් තුනක් ක්‍රියාත්මක බව උඩවලව වනෝද්‍යාන භාරකරු ආර්.බී.ආර්.එස් රණතුංග මහතා පවසයි.

ඇඹිලිපිටිය පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය වනජීවි පර්යේෂණ නිලධාරින් සමග එකාබද්ධව මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරති. 

තණමල්විල මාර්ගයට යාබදව මව්ආරේ ජලය ගෙනයන ඇල මාර්ගයක් අසලදී මෙම දිවියා මරා දමා තිබියදී  වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් සොයාගෙන තිබුණේ පසුගිය 31 වැනිදාය. වනෝද්‍යානයට පිටතින් මීටර් 120 පමණ දුරකදී මෙම ඝාතනය සිදුව තිබු බව ආර්.බී.ආර්.එස් රණතුංග මහතා සදහන් කරයි.

වදහිංසා පමණවමින් මරා දමා තිබු දිවියාගේ ශරීර කොටස් පශ්චාත් මරණ පරීක්ෂණය සදහා උඩවලව ඇත්අතුරු සෙවනට යොමු කරන ලෙස  ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 01 වැනිදා නියෝග කර තිබිණි.

මරා දමා තිබු දිවියාගේ දත් හා අත් පා කොටස්ද ඝාතකයන් විසින් රැගෙන ගොස් තිබේ. 

සතුන් ඇල්ලීමට යොදාගන්නා මද්දකට අසුවු දිවියා පසුව ඝාතනය කරන්නට ඇතැයි වනජීවි නිලධාරින් සැක පහළ කරයි. ඒසේ නැත්නම් මද්දට අසුවී මියගිය දිවියාගේ ශරීර කොටස් දඩයක්කරුවන් විසින්ම රැගෙන ‌ෙගාස් ඇත.

ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සදහන් කරන පරිදි  මෙලෙස ඝාතනය කර ඇත්තේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත අනුව 30 වැනි වගන්තියේ 2 වැනි උප වගන්තියට අනුව දැඩි ලෙස ආරක්ෂිත සත්ත්වයකු ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන සත්ත්වයෙකි.

මෙලෙස දැඩිලෙස ආරක්ෂිත සත්ත්වයකු වන දිවියා සම්බන්ධයෙන් තහනම් ක්‍රියාවක් සදහා දඩුවම රුපියල් තිස්‌ දහසකට නොඅඩු හා රුපියල් ලක්‍ෂ එකකට නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකකට නොඅඩු හා අවුරුදු පහකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයකට එක්‌ ආකාරයකින් බන්ධනාගාරගත කළ හැකිය.

කෙසේ වෙතත් අදාල සිද්ධි සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ සදහා ප්‍රමාණවත් තරම් පිරිස් බලයක් වනජීවි දෙපාර්තමේන්තුවට නොමැති බව තමන් ප්‍රායෝගිකව දන්නා බව නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. 

ඒ නිසා ඔවුන්ට ඇගිල්ල දිගු කිරීමට වඩා සෑම විටම පිරිස් බලය මෙන්ම වෙනම ඒකකයක් අදාල සැකකරුවන් අල්ලා ගැනීමේ  වෙනුවෙන් වනජීවි දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කළ යුතුය යන්න තම අදහස බව හෙතම පෙන්වා දුන්නේය.

ඇතැම්විට නීතිය ඇති තැන වුවද සැකකරුවන් අල්ලා  ගැනීමට ක්‍රමවේදයක් නොමැති නිසා නිසි දඩුවම් සමාජගත නොවීම ඔස්සේ වටිනා වනජීවින්ට තවත් ජීවිත අහිමිවීමට තරම් ඛේදාන්තයක් උද්ගත කර තිබේ.

මේ සියලු කරුණු ගෙනහැර බැලුවිට තිබෙන අණ පනත් බලාත්මක කරමින් ප්‍රායෝගික තලයට ගෙන ඒමත් කෙටුම්පත් වු පනත් බලාත්මක කරගැනීමට තීන්දු ගැනීමත් රටක් හමුවේ තිබෙන අභියෝගයකි. ඒසේ නැතිනම් අපට දිවියන් මරමින් මේ ගමන් කරන්නෙ කොයිබටදැයි සිතාගත නොහැකිවනු ඇත.

රමේෂ් වරල්ලෙගම