ලංකාවේ ‘සත්ත්ව සුබ සාධන පනත’ යාවත්කාලීන විය යුත්තේ ඇයි ?


-සුපුන් ළහිරු ප්‍රකාශ්

Photo by Rajith Gunawardena from Pexels – https://www.pexels.com/photo/dogs-puppy-puppy-in-sri-lanka-sri-lanka-puppy-88225/ 

සත්ත්ව ආරක්ෂණය හා සුබ සාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපට ඇත්තේ වෙනත් කිසිදු ජාතියකට නොමැති තරම් සාඩම්බර අතීතයකි.ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදී මෙරට රජ කළ දේවානම්පියතිස්ස රජු සකලවිධ සත්ත්ව වර්ගයාට නිදහසේ ජීවත්වීමේ අයිතිය පිළිගත්තේය. ඒ මිහින්තලාව අභයභූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කරමිනි.

පසුකාලීනව වනජීවීන් ආරක්ෂණය හා සංරක්ෂණය සම්බන්ධයෙන් මෙරට නීති රීති පද්ධතිය විකාශනය වුවද සත්ත්ව හිංසනය සහ සුබසාධනය සම්බන්ධයෙන් ලැබුණේ අඩු උනන්දුවකි. 1907 අංක 13 සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත මෙ රට සතුනට රැකවරණය ලබා දීම සඳහා දැනට ඇති එකම නීතිමය ආවරණය වීම ඊට කදිම නිදසුනයි. නමුත් විවිධ හේතූන් නිසා මෙය යාවත්කාලීන කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් පැන නැඟී  තිබුණ ද බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නො කිරීම කණගාටුවට කරුණකි.

ලොව සියලුම සත්ත්වයින්ට ආරක්ෂිතව ජීවත්වීමට අයිතියක් ඇත. එය මිනිසුන්ට මෙන්ම සෙසු සත්ත්වයින්ට ද පොදු ය. මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කොතෙකුත් නීතිමය ප්‍රතිපාදන තිබුණ ද සත්ත්ව අයිතින් වෙනුවෙන් එවැනි නීතිමය ආරක්ෂාවන් ඇත්තේ ඉතා අවම වශයෙනි. වර්තමානයේ ගෘහාශ්‍රිත මෙන්ම වන සතුන් ඉතා කෘර හා අමානුෂික හිංසනයන්ට හා ඝාතනයන්ට ගොදුරුවන්නේ එම නිසාය . 2016 වසරේදී කුස ඇලි මුහුදු උකුස්සෙකු පණපිටින් හමගසා මරා දැමීමේ සිදුවීමක් හික්කඩුව ප්‍රදේශයෙන් වාර්තාවූ අතර 2018 වස‍රේ කිලිනොච්චිය ප්‍රදේශයේදී ගම් වැදුණු කොටියෙකු ඉතා අමානුෂික ලෙස පොලු වලින් පහරදී මරා දැමු ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. පසුගිය දා මීගමුව, කොප්පරා හංදිය ප්‍රදේශයේදී සුනඛයෙකු ගිනිතබා මරා දැමීම හා බලංගොඩ, මස්තැන්න ප්‍රදේශයේ සුනඛයෙකු දුෂණයකර මරා දැමීම මෙවැනි සත්ත්ව හිංසනයන් සම්බන්ධ ආසන්නතම සිදුවීම් ද්විත්වයයි.

මෙම අසරණ  සතුන්  සිය දුක් කඳුළු මතින් නිහඬ අරගලයක යෙදෙති.ඒ සත්ත්ව හිංසනය වැළැක්වීමේ නීති ප්‍රතිපාදන මෙරට තුළ  ශක්තිමත් කරන ලෙස තව තවත් සිහි කැදවමිනි. නමුත් අවාසනාවට සත්ත්ව සුබසාධන පණත හමස් පෙට්ටියේ දමාගෙන බලධාරිහු  මුණිවත රකිති.

අප ඉහත සඳහන් කළ පරිදි මෙරට සතුන්ගේ ආරක්ෂණය හා සුබසාධනය සම්බන්ධයෙන් දැනට මෙරට තුළ ක්‍රියාත්මකවන නීතිය වන්නේ 1907අංක 13 සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥාපනතයි. බ්‍රිතාන්‍යන් මෙරට පාලනය කරන සමයේ නීතිගතකරන ලද එම ආඥාපනත කරළියට පැමිණ වසර සියයකට අධික කාලයක් ගතවී ඇත. ඉන්පසු ගෙවුණු අතීතය තුළ ලෝකයේ සෙසු රටවල් බොහොමයක් සත්ත්ව හිංසනයන් වැලැක්වීම සඳහා ශක්තිමත් නීති අනපනත් නිර්මාණය කර ඇත. ඕනෑ තරම් එවැනි උදාහරණ තිබියදී වර්තමානයට ගැලපෙන ලෙස සත්ත්ව අයිතිවාසිකම් නීතිගතකර ආරක්ෂාකිරීමට රටක් ලෙස අප අපොහොසත්වීම කණගාටුවට කරුණකි.

2016ජනවාරි මාසයේ කැබිනට් අනුමැතිය ලැබුණු සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පතක් අප රට සතුව ඇතත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කර නොගන්නේ ඇයිදැයි දන්නේ නැත.  ඉන් පෙනෙන්ට ඇත්තේ බලධාරින් ඊට දක්වන උනන්දුවේ තරමය. වනජීවීන් ආරක්ෂණය හා සංරක්ෂණය සම්බන්ධ නීති රීති යම්කිසි ප්‍රමාණයකින් යාවත්කාලීන  කරන අතරේ පොදුවේ සත්ත්වයන් වෙනුවෙන් ගෙන එන සත්ත්ව සුබ සාධන පනතක අවශ්‍යතාවය ගැන රජයට පසුගාමී අදහසක් තිබීම විමතියකි.

මේ පිළිබඳව අප කළ විමසීමේදී සත්ත්ව සුබසාධන හවුලේ කැඳවුම්කාරිණි නීතිඥ වොසිතා විජේනායක මහත්මිය මෙසේ පැවසුවාය.‘පසුගිය කාලය පුරාම සත්ත්ව හිංසන සිද්ධි රැසක් වර්තා වුණා. අප දිගින් දිගටම සත්ත්ව සුබසාධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු යැයි අරගලයක නිරත වන්නෙ ඒ නිසයි. අදටත් ක්‍රියාත්මක වන්නේ  1907 හඳුන්වා  දුන් නීතියක්. අද රටට ගැලපෙන විධියට මේ නීති අලුත්වන්නට අවශ්‍ය  යි. අප රජයෙන් ඉල්ලා  සිටින්නේ  සත්ත්ව සුබ සාධන පනත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කර මෙරට තුළ සිදුවන සත්ත්ව හිංසනයන් වැලැක්වීමට කඩිනමින් මැදිහත්වන ලෙස’යි.

1907 අංක 13 සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥාපනත මගින් යම්කිසි සත්ත්ව හිංසනයක් සඳහා වැරදිකරුවකු වන පුද්ගලයෙකුගෙන් අයකර ගතහැකි උපරිම දඩ මුදල රුපියල් සියයක් පමණි. එවැනි වරදකරුවෙකු සය මසක උපරිමයකට යටත්ව බන්ධනාගාර ගතකිරීමකට යටත්කළ හැකිව පැවතුණ ද එම දණ්ඩනය පැනවෙන්නේද ඉතා අල්ප වශයෙන් බව විජේනායක මහත්මිය පවසන්නීය.මේ අනුව සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් ශක්තිමත් පනතක් නීතිගත කිරීම කාලීන අවශ්‍යතාවයකි.

මෙම නව පනත සම්මත කිරීම මගින් ආකාර කිහිපයකින් අසරණ සතුන්ට නීතිමය ආරක්ෂාවක් සැලසේ. සත්ත්වයින් සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය අර්ථකථනය වඩාත් පුළුල් කිරීම මගින් සත්ත්ව හිංසනයට එරෙහිව වැඩි ආවරණයක් ලැබීම මෙම නව පනතේ ඇති විශේෂත්වයකි. එසේම සත්ත්ව හිංසනයන් හා සතුන්ට නොසලකා හැරීම් සම්බන්ධයෙන් වරදකරුවන්ට ලබා දිය හැකි දඬුවම් ඉහළ නැංවීමට ද මෙ මඟින් අවස්ථාව ලැබේ. තව ද සතෙකු තම භාරයේ තබාගන්නා පුද්ගලයාට එම සත්ත්වයා රැකබලා ගැනීමට නෛතික වගකීමක් පැවරීමද මෙහි ඇති නව සංකල්පයකි. එමෙන්ම සත්ත්ව ආරක්ෂණය සහ හිංසනය පිලිබඳ විශේෂයෙන් ක්‍රියාත්මක වන අධිකාරියක් හරහා නිතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයතනික ව්‍යුහය ද මෙම පනත හරහා ගොඩ නැඟීමට ප්‍රතිපාදන සලසා ඇත. මේ සියලු කරුණු  සමග වඩාත් ඵලදායී හා කාර්යක්ෂම නීති රාමුවකින් මෙරට සියලු සත්වයින්ට ආරක්ෂාව ලැබීම හා සුබසාධනය තහවුරුවීම සඳහා මෙම පනත අවස්ථාව උදාකරදී ඇත. මේ නිසා සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට බල කිරීම අවිහිංසාව අගයන උතුම් මානව ගුණාංගයන්ගෙන් පිරි හදවත් ඇති සැමගේ යුතුකම හා වගකීම වන්නේය.